තවත් පාවාදීමකට විමල් සුදානම්,

තවත් පාවාදීමකට විමල් සුදානම්,

අද ජාත්‍යන්තර කම්කරු දිනය.ලංකා ඉතිහාසේ රටේ ජනාධිපතියි,අගමැතියි නිවාස අඩස්‌සියේ තියලා වැඩකරන ජනතාව සමරන පළවෙනි මැයි දිනය මේක වෙන්න ඕනි.යුක්‍රේනයේ ජනාධිපති සෙලෙන්ස්කි භූගත බංකරයක හැංගිලා ඉන්නේ රුසියානු කෲෂ් මිසයිලවලට බයේ.ඒත් සෙලෙන්ස්කි යුක්‍රේන ජනතාවට වීරයෙක්.අපේ ඩබල හැංගිලා ඉන්නේ ජනතාවට බයේ.ඇත්තටම මේ තරම් පාච්චල් උන පාලකයෝ දෙන්නෙක් ලෝකේ කොහේවත් නැතිව ඇති.මේ මැයි දිනේ අභිමානය ගැන කියන්න ඒ වාක්‍ය පේලි දෙක තුන ඇති කියලා රටේ රාළට හිතෙනවා.

අද රටේ රාළ කියන්න හදන්නේ ඊට වෙනස් කතාවක්.ඒක රටේ රාළට අවුරුදු කීපයකට උඩදී කියපු කතාවක්.රටේ රාළ එදා ජානීපෙ ප්‍රධාන ලේකම්කමෙන් ඉල්ලා අස්වුනේ විමල් කියන්නේ පාවා දෙන්නෙක් කියමින්.ඇත්තටම විමල් කියන්නේ ඓතිහාසික පාවා දෙන්නෙක්. කිසිම ලෑජ්ජාවක් නැති නිවට පාවා දෙන්නෙක්. පහුගිය ඉතිහාසය පුරාවට විමල් ඒක ඔප්පු කරලා පෙන්නලා තියනවා.අද නැවතත් විමල් එක ඔප්පු කරමින් ඉන්නවා.රටේ රාළ කිව්වේ රාජපක්ෂලා විමල්ලට ගහලා එලෙව්වට පස්සේ විමල්ලට ඉතුරු උනේ උත්තර තුනයි කියලා.එකක් රාජපක්ෂලාට නැවත යටත්වීම. අනික ශ්‍රීලනිප නායකත්වය යටතේ තියන එක්සත් ජනතා නිදහස් සන්ධානයට එකතුවීම.එහෙමත් නැත්තං සජිත්ගේ සජබෙට එකතුවීම.එතනදී රටේ රාළ කිව්වේ විමල්ලා රාජපක්ෂලාට යටත් වෙන්න තියන ඉඩ වැඩී කියලයි.අද රාජපක්ෂ කදවුර ගෝඨාභය හා මහින්ද විදිහට දෙකට බෙදිලා තියන බව ඇත්ත.හැබැයි මේ බෙදීමේදී හරිනං විමල් නියෝජනය කරන ඕනි මහින්දගේ කදවුර.හැබැයි විමල් නියෝජනය කරන්නේ ගෝඨාභයගේ කදවුර.විමල්ගේ දේශපාලන නායකයා මහින්ද.

හැබැයි විමල් අද මහින්දට පයින් ගහලා ඉවරයි,මිට කලින් කිව්වේ මහින්දගේ දේශපාලන පුතා විමල් කියලා.ඔන්න දැන් දේශපාලන පුතා දේශපාලන අප්පච්චිට පයින් ගහලා බාප්පොච්චි එක්ක එකතු වෙලා.
ඇත්තටම ඇයි එහෙම වෙන්නේ.ඒකටත් හේතුවක් තියනවා.විමල් මෙතනදී තේරුවේ රාජපක්ෂලාගෙන් බලවත් කවුද කියන එකයි. මහින්දටයි,ගෝඨාභයටයි දෙන්නටම අද මහජන බලය නෑ.හැබැයි ගෝඨාභයට විධායක බලය තියනවා.විමල් යන්න හදන්නේ ඒ කුඩේ යටට.මොකද විමල්ට ඒ රැකවරණය ඕනි,විමල් කරපු හොරකම් වහගන්න විමල්ට ඒ රැකවරණය ඕනි.ඊළගට විමල්ට ජූනි 06 කියන්නේ තීරණාත්මක දවසක්.එදාටත් විමල්ට ඒ රැකවරණය ඕනි.මොකද අපේ රටේ හොරු ආරක්ෂා කිරීමේ ලෝක වාර්තාව තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ අතේ.ඒක නිසා පල් හොරෙක් වෙච්චි විමල්ට තවදුරටත් ගෝඨාභයගේ රැකවරණය ඕනි.දැනුත් විමල්ට පුළුවන් එහෙම නෙවෙයි නං රටේ රාළව නීතිය ඉස්සරහට ගේන්න.ඒ ඕනිම තැනකට රටේ රාළ දන්න තොරතුරු ටිකත් අරගෙන එන්න ලෑස්තියි.කවදා හරි දවසක රටේ මහජන දේපල හොරා කාපුවා පවරගන්න දවසට විමල්ගේ ඒ සියලු තොරතුරු ටික දෙන්න රටේ රාළ ලෑස්තියි.හැබැයි ඉතින් මේ යක්කුන්ට නං දීලා වැඩක් නෑ.

එදා විමල් එක්සත් ජනතා නිදහස් සන්ධානය ගැන කිව්වේ මෛත්‍රී ඉන්න සන්ධානයකට කවදාවත් යන්නේ නෑ කියලා.ඊළගට ඊයේ පෙරේදා කිව්වේ රාජපක්ෂලා එක්ක ආයෙත් කවදාවත් ආණ්ඩු හදන්නේ නෑ කියලා.එහෙම කියපු වීරවංශ ශ්‍රීලනිපයත් ඇදගෙනම ගෝඨාභය වලව්වේ පිලිකන්නට රිංගලා. මහින්ද වලව්වෙන් ගෝඨාභය වලව්වට මාරු වෙලා.පිලිකනු මානසිකත්වයෙන් මිදෙන්න විමල්ට කවදාවත් බෑ.රාජපක්ෂලාගේ අගුපිල්වල ලගින්න විමල් පුළුවන් හැමදේම අවභාවිතයේ යෙදෙව්වා.ඇත්තටම ඔයිට වඩා හොදයි විමල් බුලත් අතක් අරන් ගිහිල්ලා, ගෝඨාභයට දන ගහලා වැඳලා,වරදක් වෙලා තියනවා නං සමාවත් අරගෙන.ඇමතිකමක් ඉල්ල ගන්න එක.ඒක නම්බුයි මේ කරන නපුන්සක දේශපාලනයට වඩා.විමල් එලෙව්වට පස්සේ ආයෙත් රාජපක්ෂලාගේ අනුකම්පාව දිනාගන්න නොකලේ මාරාන්තික උපවාසයක් විතරයි.මේකත් බැරි උනොත් විමල්ට තියෙන අවසාන උත්තරය මාරාන්තික උපවාසයක් තමයි.වෙනස තියෙන්නේ ඒක මේදා පාර මහ පාරේ කරන්න බැරිවිම විතරයි. මාරාන්තික උපවාසය කරන්නත් මහ පාරට බහින්න පුළුවන් වෙන්න එපායෑ. 

විමල් ඉස්සෙල්ලාම පටන් ගත්තේ අන්තර්වාර ආණ්ඩුවක් ඕනි කියලා.ටික දවසක් යනකොට ඒක අන්තර්වාර සර්වපාක්ෂික ආණ්ඩුවක් උනා.ඊට පස්සේ අන්තර්වාර කෑල්ල හැලිලා සර්වපාක්ෂික විතරක් උනා.දැන් ඔක්කොම හැලිලා ජාතික එකඟතා ආණ්ඩුවක් වෙලා. විමල් ඇමතිකමක් ගන්න අවභාවිතයේ යොදාගන්න පුළුවන් සියල්ල යොදවලා.රටේ රාළට කියන්න තියෙන්නේ පාන් පිටිවලින් එක එක කෑම වර්ග හදනවා.පාන්,රෝස් පාන්, රොටී,බනිස්,කිඹුලා බනිස් වගේ තව ගොඩක් තියනවා.හැබැයි මේ හැමදේම හදලා තියෙන්නේ පාන් පිටිවලින්.ඔන්න විමල්ලා ආයෙත් රෝල් කරලා ජාතික එකගතා ආණ්ඩුවක් කියන කිඹුලා බනිස් එකක් හදන්න හදනවා.හැබැයි ඒක හදන්නේ රාජපක්ෂලා කියන පාන් පිටිවලින්ම තමයි.දැන් ඒවට ගුල්ලෝ ගහලා.විමල්ලා හැමදාම කලේ දරුවා උපදින්න ඉස්සෙල්ලා නමක් දාන එක. සාමාන්‍යයෙන් වෙන්නේ දරුවා ඉපදුනාට පස්සේ මුණ බලලා උපන් වෙලාවට අනුව නම දාන එක.දැන් වෙලා තියෙන්නේ උපදින්නේ දරුවෙක්ද,යකෙක්ද දන්නේ නැතිව ඌට ජාතික එකගතා ආණ්ඩුව කියලා නමක් දාලා.

ඒකට හේතුව තමයි විමල්ලා දන්නවා ඔය අටවන අටමගලය මේ රටේ ජනතාව පිලිගන්නේ නෑ කියලා.විමල්ලා හදන්නේ දරුවා උපදින්න ඉස්සෙල්ලා ඌට ලස්සන නමක් දාලා මේක බලෙන් සමාජයට පටවන්න. ඒකට තමයි විමල් ආයෙත් කියන්නේ මේ රට බේරෙන්න තියන අවසන් අවස්ථාව මේක කියලා.ඒක නිසා හැම කෙනාම විමල්ට ඇමතිකමක් ගන්න හදන මේ ජාතික එකගතා ආණ්ඩුවට එන්න ඕනිලු.මරු වැඩේ කියන්නෙ ඒ ජාතික එකඟතාවයේ ඉන්නේ කලින් හිටිය පොහොට්ටුවේ සෙට් එකමයි.දැන් මෙතනදී විමල්ගෙන් අහන්න ප්‍රශ්නයක් තියනවා.කෝ දැන් ඔයා ගෙනාව මහතීර් මොහෝමඩ්.ඇයි එයා හැලුවේ.නිධානයක් ගන්න උනහම ඒකට බිල්ලක් දෙනවා.මේ නිධානය ගන්න විමල් දෙන්නේ මහින්ද කියන නර බිල්ල.නර බිල්ලක් උනාට ඒක දැන් කුකුළු බිල්ලක් තරම්වත් වටින්නේ නෑ.මයිනා කියලා ඒකත් හෑල්ලු කරලා.විමල්ගේ අය තමයි නාකි මයිනා කියලා පෝස්ට් දාන්නේ.ඊළගට විමල්ගෙන් අහන්න ඔනි ප්‍රශ්නය තමයි ඔයා ලී ක්වාන් යූ කියලා ගෙනාව මිනිහා නෙවෙයිද මේ රටට මේ විනාශය කළේ.ඒ ගැන You මොකද කියන්නේ.

විමල් එදා කිව්වේ වැල යන අතට මැස්ස ගහන්නේ නෑ.විමල්ට ඕනි තැන මැස්ස ගහලා වැල මැස්සට ගෙන්න ගන්නවා කියලා.දැන් රටේ රාළට විමල්ගෙන් අහන්න තියෙන්නේ වැල මැස්සට ඇවිත්ද කියලයි.නැත්තං මැස්ස කඩා වැටිලද කියලයි.රටේ රාල දන්න විදිහට නං රාජපක්ෂලා තමයි මැස්ස ගහලා විමල් කියන ලෝක පාලු වැල මැස්සට ගෙන්න ගත්තේ.ඒකට හොඳම උදාහරණය තමයි 20 වෙනි සංශෝධනයට විමල්ලා නිවටයෝ වගේ අත උස්සපු එක.දැන් ආයෙත් එනවා බයිලා කියාගෙන.ඇත්තටම විමල්ලාට ඕනි ඉතිරි අවුරුදු දෙක හමාරත් මේ රාජපක්ෂලා කියන කුණු ගොඩට වැටිලා ජීවත් වෙන්න,ඒ කුණු ගොඩ තමයි විමල්ලාට සැප ගෙනාවේ. විමල්ලා පරම්පරා දහයකට දැන් සල්ලි හොයාගෙන ඉවරයි.ඒ විතරක් නෙවෙයි ඒ සල්ලි දැන් ආයෝජනය කරලත් ඉවරයි.ඉතිරි ටික පොලියට දෙන්නත් පටන් අරන්.ඒක නිසා තවදුරටත් විමල්ට මේ දේශපාලන තක්කඩි වැඩේ කරන්න දෙනවද කියලා මේ රටේ ජනතාව තීරණය කරන්න ඕනි.ඒ තක්කඩි දේශපාලනය වෙනුවෙන් තමයි විමල්ලා ස්වාධීන බැටළු හම පෙරවගෙන ඉන්නේ.

ඇත්තටම මේ දේශපාලන අර්බුදය ඇතුළේ ස්වාධීන කියලා එකක් නෑ.ස්වාධීනයි කියන්නේ දේශද්‍රෝහී කියන එකයි.ස්වාධීනයි අය අවසාන විග්‍රහයේදී හිට ගන්නේ රාජපක්ෂලා එක්ක.එකට හොදම උදාහරණය තමයි ස්වාධීන අයට ගෝඨා ගෝ හෝම් කියන සටන් පාඨය ඇහෙන්නේ නෑ.එයාලච අනුව එහෙම සටන් පාඨයක් නෑ.තියෙන්නේ මයිනා ගෝ හෝම් කියලා විතරයි.ඇත්තටම මේ රටේ ඡනතාවට දැන් ඉස්සෙල්ලාම ප්‍රශ්නය බේරගන්න තියෙන්නේ මෙන්න මේ ස්වාධීන උනාය කියන දේශපාලන තක්කඩින් එක්ක. මොකද එයාලා හදන්නේ ජනමතයට වැලි ගහලා ආයෙත් රාජපක්ෂ රෙජීමය වෙන හැඩයකින් ආරක්ෂා කරන්න.අද ලස්සනම වැඩේ කියන්නේ අපේ ගම පරිශ්‍රයේ ආසන 700 ක් තියන තැනකට වෙලා විමල්ලා අධිරාජ්‍යවාදයට පලු යන්න දෙනවා. අධිරාජ්‍යවාදයට අභියෝග කරන විමල් වත්මන් ඇමරිකානු අධිරාජ්‍යවාදයේ නුතන දේශීය ඒජන්තයා උන ගෝඨාභය රාජපක්ෂ ඉස්සරහා දෙකට නැමිලා රට පාවලා දෙමින් ඉන්නවා.

විමල්ලාගේ මේ තක්කඩි දේශපාලන විසින් ජන අරගලය ඉදිරියේ මේ රටට දිනලා දෙන්න තිබුණ ජයග්‍රහණය ගොඩක් ආපස්සට හැරුණා.රටේ රාළ කැට තියලා කියනවා.ඉදිරි පාර්ලිමේන්තු සතියෙන් පස්සේ මේ පාර්ලිමේන්තුවේ කාර්යභාරය අවසන් වෙනවා. ඒ කියන්නේ යල් පනිනවා.ඊට පස්සේ තියෙන්නේ වෙනම තත්වයක්.දැන් මේ කිසිම ප්‍රශ්නයට උත්තර හදන්න මේ රටේ විධායකයටවත්,ව්‍යවස්ථාදායකයටවත් බෑ.ඒ දෙකම බෙලහීනහීනයි.

හරි එහෙනම් ගිහින් එන්නම්.
බුදු සරණයි.ජයවේවා.


Vettai Email-vettai007@yahoo.com

Post a Comment

Previous Post Next Post